ⓘ ජෝසෆ් ස්ටාලින්. ජෝසෆ් විසාරියොනොවිච් ස්ටාලින් යනු ජෝර්ජියානු සම්භවයකින් යුත් සෝවියට් විප්ලවවාදියෙකු සහ දේශපාලනඥයෙකි. 1922 සිට 1952 දක්වා සෝවියට් සංගමයේ කොමියුනි ..

                                     

ⓘ ජෝසෆ් ස්ටාලින්

ජෝසෆ් විසාරියොනොවිච් ස්ටාලින් යනු ජෝර්ජියානු සම්භවයකින් යුත් සෝවියට් විප්ලවවාදියෙකු සහ දේශපාලනඥයෙකි. 1922 සිට 1952 දක්වා සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයෙහි මධ්‍යම කමිටුවේ ලේකම් ලෙස සහ 1941 සිට 1953 දක්වා සෝවියට් සංගමයේ ප්‍රධානියා ලෙස ද, 1920 ගණන්වල මැද බාගයේ සිට 1953 ඔහුගේ මරණය දක්වා සෝවියට් සංගමය පාලනය කළේය. තනි-පක්ෂ පාලන ක්‍රමවේදයක් යටතේ රජයේ ප්‍රධානියා වූ ස්ටාලින් ඇත්ත වශයෙන්ම 1937 වනවිට රටේ ඒකාධිපති බවට පත්ව සිටියේය. මාක්ස්වාදය හා ලෙනින්වාදය ගරුකළ ස්ටාලින් එම මතවාද මාක්ස්වාදය-ලෙනින්වාදය ලෙස ආකෘතිකරණයට උදව් දුන්නේය. ඔහුගේම ප්‍රතිපත්ති ස්ටාලින්වාදය ලෙස ජනප්‍රිය විය.

රුසියානු අධිරාජ්‍යයේ ගෝරි හි දුප්පත් පවුලක හැදී වැදුණු ස්ටාලින්, තරුණ වියේ දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයට බැඳුණේය. ඔහු පක්ෂයේ පුවත්පත වූ ප්‍රව්දා සංස්කරණය කල අතර සොරකම්, පැහැරගැනීම් සහ ආරක්ෂක කල්ලි protection rackets ලෙස කටයුතු කරමින් ව්ලැඩිමීර් ලෙනින් ගේ බෝල්ෂෙවික් පක්ෂය සඳහා අරමුදල් සපයා දුන්නේය. බොහෝ වාර ගණනක් අත්තඩංගුවට පත් වූ ඔහු පිටුවහල් කිරීම් කිහිපයකට ද ලක්විය. 1917 ඔක්තෝබර් විප්ලවය මගින් බෝල්ෂෙවික්වරු බලය ලබාගෙන රුසියානු සෝවියට් ජනරජය පිහිටුවීමෙන් පසු, ස්ටාලින් රුසියානු සිවිල් යුධ සමයේ පාලන තන්ත්‍රයෙහි අසුන් ගනිමින් 1922 දී සෝවියට් සංගමය පිහිටුවීමට සහාය දුන්නේය. ලෙනින්ගේ විරුද්ධත්වය නොසලකා හරිමින් 1924 දී ඔහුගේ මරණයෙන් පසු ස්ටාලින් බලය තහවුරු කර ගත්තේය. ස්ටාලින් ගේ නිල කාලය තුලදී "එක රටක සමාජවාදය" මූලික සංකල්පයක් බවට පත් වූ අතර ලෙනින්ගේ නව ආර්ථික ප්‍රතිපත්තිය, මධ්‍යගත කරන ලද සැලසුම් කල ආර්ථිකය, කාර්මීකරණය සහ රාශිභූතකරණය Collectivization මගින් ප්‍රතිස්ථාපනය කරන ලදී. මේවා මගින් රට කාර්මික බලවතෙකු බවට සිඝ්‍රයෙන් පරිවර්තනය වූ නමුත් ආහාර නිෂ්පාදනය කෙරෙහි බලපෑම් ඇති කිරීම නිසා 1932-33 අතර කාලයේ දී විශේෂයෙන්ම යුක්රේනයට වැඩි බලපෑම් එල්කල සාගතය ඇති කිරීමට හේතු විය. ඒවා "වැඩ කරන පන්තියේ සතුරන්" ලෙස සළකා මුලුනුපුටා දැමීම සඳහා 1934 සිට 1939 දක්වා ස්ටාලින් මහා පවිත්‍රකරණය/නෙරපා හැරීම Great Purge ක්‍රියාත්මක කර ඉහළ දේශපාලන සහ හමුදා නිලධාරින් ද ඇතුළුව සිය දහස් ගණනක් සිරගත කිරීම, පිටුවහල් කිරීම හෝ මරණ දඬුවමට ලක් කිරීම සිදු කරන ලදී.