ⓘ ඈන් ෆ්‍රෑන්ක්. ඇනිලිස් ඈන් මාරි ෆ්‍රෑන්ක් ඕලන්ද උච්චාරණය, උච්චාරණය ; 12 June 1929 – early March 1945 යනු සමූලඝාතනයට ලක් වූ යුදෙව් ජාතිකයින් අතරින් වඩාත්ම කතා බහ ..

                                     

ⓘ ඈන් ෆ්‍රෑන්ක්

ඇනිලිස් ඈන් මාරි ෆ්‍රෑන්ක් ඕලන්ද උච්චාරණය, උච්චාරණය ; 12 June 1929 – early March 1945 යනු සමූලඝාතනයට ලක් වූ යුදෙව් ජාතිකයින් අතරින් වඩාත්ම කතා බහට ලක් වූ අයෙකි. යෞවනියකගේ දිනපොත නම් ඇගේ යුධ කාලින දිනපොත, නාට්‍ය සහ චිත්‍රපට ගණනාවකටම පාදක වී ඇත. වෙයිමර් සමුහාණ්ඩුවේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ උපත ලැබූ ඇය, ඇගේ ජිවිතයේ වැඩි කාලයක් ජිවත් වුයේ නෙදර්ලන්තයේ ඈම්ස්ටර්ඩෑම් නගරයේයි. උපතින් ජර්මානු වුවද 1941 දී ෆ්‍රෑන්ක්ට ඇයගේ පුරවැසිභාවය අහිමි කරන ලදී. ඇගේ මරණයෙන් පසු ඇගේ දිනපොත ප්‍රකාශයට පත් වීම නිසා ඇයට අන්තර්ජාතික කීර්තියක් හිමි විය. දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය විසින් නෙදර්ලන්තය අත්පත් කර ගන්නා විට ඇයට අත් විඳින්නට සිදු වූ අත්දැකීම් එමගින් විස්තර කෙරේ.

ෆ්‍රෑන්ක් පවුල ජර්මනියේ සිට ඈම්ස්ටර්ඩෑම් වෙත සංක්‍රමණය වුයේ නාසින් විසින් ජර්මනියේ පාලන බලය අත්පත් කර ගත් 1933 වර්ෂයේදී යි. 1940 මැයි වන විට, ජර්මනිය නෙදර්ලන්තය යටත් කර ගන්නා අවස්ථාවේදී ඔවුහු ඈම්ස්ටර්ඩෑම්හි කොටු වී සිටියහ. 1942 ජුලි වන විට යුදෙව්වන්ට එරෙහි වධ හිංසා තවදුරටත් වැඩි වෙමින් පැවති නිසා ඈන් ගේ පියා වැඩ කල ගොඩනැගිල්ලේ පිහිටි රහස් කාමර වල සැඟවීමට, එම පවුල පිටත්ව ගියහ. වසර දෙකකට පසු ඔවුන්ව පාවා දෙනු ලැබූ අතර නාසි සංකේන්ද්‍රන කඳවුරකට ප්‍රවාහණය කරවන ලදී. අවසානයේදී ඈන් සහ ඇගේ සොහොයුරිය වූ මාගට් ෆ්‍රෑන්ක්, බර්ජන්-බෙල්සන් සංකේන්ද්‍රන කඳවුරට මාරුකර යවන ලද අතර එහිදී බෝවන උණ රෝගයක් ටයිෆොයිඩ් උණ නිසා 1945 දී ඔවුහු මිය ගියහ.

එම පවුලේ දිවි ගලවා ගත් එකම තැනැත්තා වූ ඔටෝ ෆ්‍රෑන්ක්, යුද්ධයෙන් පසු 1947 දී ඈම්ස්ටර්ඩෑම් වෙත පැමිණි අවස්ථාවේදී එතෙක් සුරැකිව පැවති ඈන්ගේ දිනපොත සොයා ගත්තේය. ඔහුගේ උත්සාහයේ ප්‍රතිපලයක් වශයෙන් එය ප්‍රකාශයට පත් වූ අතර මේ වන විට එය භාෂා බොහෝ ගණනකට පරිවර්තනය වී ඇත. එහි නියම ප්‍රකාශිත භාෂාව වූ ලන්දේසි භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදුව 1952 වර්ෂයේදී යෞවනියකගේ දිනපොත ලෙස ප්‍රකාශයට පත් විය. ඇගේ දහතුන්වන උපන්දිනයට ඈන් ලද හිස් දිනපොත, 1942 ජුනි 12 වනදා සිට 1944 අගෝස්තු 1 වනදා තෙක් ඇගේ දිවිය පුරාවෘත්තයක් බවට පත් කරන ලදී.

                                     

1. Early life

ෆ්‍රෑන්ක් 1929 ජුනි 12 වන දින ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි උපත ලැබිය. ඔටෝ ෆ්‍රෑන්ක් 1889–1980 සහ එඩිත් ෆ්‍රෑන්ක්-හොලැන්ඩර් 1900–45 ගේ දෙවන දියණිය වූවාය. මාගට් ෆ්‍රෑන්ක් 1926–45 ඇයගේ වැඩිමහල් සොයුරිය විය. ෆ්‍රෑන්ක්වරු නිදහස් මතධාරී යුදෙව්වන් වූ අතර යුදෙව්වන්ගේ සියලුම සිරිත් විරිත් හා සම්ප්‍රදායන් පිළිපැදීමක් ඔවුන් සිදු නොකළහ. ඔවුන් ජිවත් වූයේද යුදෙව් සහ යුදෙව්-නොවන පුරවැසියන්ගෙන් සමන්විත සමාජයකයි. මවුපිය දෙපළගෙන් වඩාත් ධාර්මික වුයේ එඩිත් ෆ්‍රෑන්ක් විය. ඔටෝ ෆ්‍රෑන්ක් අධ්‍යාපනික පරිශීලනයන්ට ලැදියාවක් දැක වූ අතර විශාල පුස්තකාලයක් ද ඔහු සතුව තිබුණි. මාපිය දෙදෙනාම ළමුන්ව කියවීම සඳහා උනන්දු කළහ.

1933 මාර්තු 13 වන දින ෆ්‍රෑන්ක්ෆර්ට් මහනගර සභා මැතිවරණය පැවතී අතර එය හිට්ලර්ගේ නාසි පක්ෂය ජය ගත්තේය. යුදෙව්වන්ට එරෙහි ප්‍රතිපත්තීන් වහ වහා සකස් කල අතර, තවදුරටත් ජර්මනියේ රැඳී සිටියහොත් කුමක් සිදු වනු ඇතිදැයි ෆ්‍රෑන්ක්වරු බිය වූහ. එම වසරේ අග බාගයේදී එඩිත් සහ දරුවන්, ආචෙන් හි එඩිත්ගේ මව, රෝසා හොලැන්ඩර් සමඟ වාසය කිරීමට ගියහ. ඔටෝ ෆ්‍රෑන්ක් ෆ්‍රෑන්ක්ෆර්ට්හිම රැඳී සිටියද, ඇම්ස්ටර්ඩෑම් හි සමාගමක් ඇරඹීමට ප්‍රතිපාදන ලැබුණු වහාම, ව්‍යාපාරයක් සංවිධානය කිරීමට සහ තම පවුලට නිවසක් ලබා ගැනීම සඳහා ඔහුද එහි පිටත්ව ගියේය. 1933 සහ 1939 අතරතුරදී ජර්මනිය හැරගිය 300.000ක් පමණ වන යුදෙව්වන් අතර ෆ්‍රෑන්ක්වරුද වූහ.

ඔටෝ ෆ්‍රෑන්ක් පෙක්ටින් පලතුරු සාරය විකිණීම සිදු කල ඔපෙක්ටා ව්‍යාපාරයේ වැඩ කිරීම ආරම්භ කල අතර ඇම්ස්ටර්ඩෑම් හි මර්වෙඩ්ප්ලේයින් මර්වෙඩ් චතුරශ්‍රය වලින් නවාතැනක් ද සොයා ගත්තේය. 1934 වන විට එඩිත් සහ දරුවන් ද ඇම්ස්ටර්ඩෑම් වෙත ලඟා වූ අතර දැරිවියන් දෙදෙනා; ඈන් පෙර පාසලකට ද මාගට් පොදු පාසලකට ද වශයෙන් පාසල් වලට ඇතුලත් කරවිය. මාගට් අංක ගණිතය සඳහා දක්ෂතා දැක් වූ අතර ඈන් කියවීම සහ ලිවිම කෙරෙහි රුචි කළාය. ඇගේ මිතුරිය වූ හැනෙලි ගොස්ලර් පසුකාලීනව ළමා අවධිය සිහිපත් කරමින් සඳහන් කලේ ෆ්‍රෑන්ක් නිරන්තරයෙන් ලිවීමෙහි නිරතව සිටි අතර තමන් ලියන දෑ පිළිබඳව කතාබහ කිරීම ප්‍රතික්ෂේප කරමින් ඇගේ කටයුතු ආරක්ෂා කර ගත් බවත්ය. ෆ්‍රෑන්ක් සොහොයුරියන් අතිශයින් වෙනස් චරිත ලක්ෂණ වලින් හෙබි වූ අය වූහ. මාගට් මනා හැදියාවකින් යුතු, ආචාරශීලි, තනිව සිටීමට කැමති සහ ඉගෙනුමට ලැදි අයෙක් වූ අතර ඈන් ඍජුව කතා කරන, උද්යෝගීමත් සහ සමාජශීලි එකියක වූවාය.

1938 දී ඔටෝ ෆ්‍රෑන්ක් පෙක්ටකන් නමින් ඖෂධ පැලෑටි සහ සොසේජස් නිෂ්පාදනයේදී භාවිත කරන රසශෝධන ලුණු, මිශ්‍ර කුළුබඩු තොග වෙළඳාම් සිදු කරන දෙවන සමාගමක් ද ඇරඹීය. 1939 දී එඩිත්ගේ මව ෆ්‍රෑන්ක්වරු සමඟ වාසය කිරීමට පැමිණි අතර 1942 දී ඇයගේ මරණය සිදු වන තෙක්ම ඇය ඔවුන් සමඟ සිටියාය.

1940 දී ජර්මනිය විසින් නෙදර්ලන්තය ආක්‍රමණය කරනු ලැබූ අතර, එහි පාලනය ලබාගත් ආණ්ඩුව, බාධක සහ අවිචාරමත් නීති බලාත්මක කිරීම මගින් යුදෙව්වන්ට හිංසා පීඩා කිරීම ආරම්භ කළහ. පාලන ලියාපදිංචිය සහ විසංගමනය වෙන් කර තැබීම යනාදිය ද වහා ක්‍රියාත්මක කරනු ලැබීය. ෆ්‍රෑන්ක් සොහොයුරියන් අධ්‍යාපනික දක්ෂතා දක්වමින් සහ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් ද ඇතිකරගෙන සිටි නමුත්, යුදෙව් දරුවන්ට ඇතුලත් විය හැක්කේ යුදෙව් පාසල් වලට පමණක් යයි තීන්දුවක් ප්‍රකාශයට පත් වීමත් සමඟ ඔවුන්ව යුදෙව් ලයිසියමකට ඇතුලත් කරනු ලැබූහ. ඈන් ලයිසියමේදී ජැකොලින් වෑන් මාර්සෙන්ගේ මිතුරියක බවට පත් වූවාය. 1941 දී ඔටෝ ෆ්‍රෑන්ක්, පෙක්ටකන් ව්‍යාපාරය යුදෙව් ව්‍යාපාර රාජසන්තක කිරීමේ ව්‍යසනයට ගොදුරු වීමෙන් වලක්වා ගැනීම සඳහා වෙහෙස විය. ඔහු පෙක්ටකන් ව්‍යාපාරයේ ඔහුට හිමි කොටස්, ජොහැන්නස් ක්ලේයිමන්ට පවරා දුන් අතර අධ්‍යක්ෂ තනතුරෙන් ද ඉල්ලා අස්විය. සමාගම වසා දැමුණු අතර සියළුම වත්කම්, ජැන් ගයිස් ප්‍රධානියා වූ ගයිස් සහ සමාගමට පවරා දෙනු ලැබීය. 1941 දෙසැම්බර් මස දී ඔපෙක්ටා ව්‍යාපාරය රැක ගැනීමට ද ඔහු ඒ හා සමාන ක්‍රියාවලියක් සිදු කළේය. පැහැදිලි කුඩා වෙනසක් සමඟ ව්‍යාපාර දිගටම පවත්වා ගෙන ගිය අතර එසේ සුරැකුණු ව්‍යාපාර නිසා ඔහුට සුළු එහෙත් තම පවුල රැක ගැනීමට ප්‍රමාණවත් ආදායමක් ලැබුණි.

                                     

2.1. Time period chronicled in the diary සැඟව යාමට පෙර

ඇගේ දහතුන් වන උපන්දිනය වෙනුවෙන්, 1942 ජුනි 12 වන දින ඈන්ට පොතක් හිමි විය. එය ඉන් පෙර දිනයකදී ඇය විසින් සිය පියාට සාප්පුවේ කවුළුවෙන් පෙන්වන ලද රතු සහ සුදු අල්ලි වැටුණු සේදයෙන් බැඳුනු, ඉදිරිපස කුඩා ගාන්චුවක් සහිත සිහිවටන පොතක් විය. නමුත් ෆ්‍රෑන්ක් එය දිනපොතක් ලෙස භාවිත කිරීමට තීරණය කල අතර ඉක්මනින්ම එහි ලිවිම ඇරඹුවාය. ඇගේ රචනයෙහි මුල් කොටස් බොහොමයක්ම ඇගේ දිවියේ ලෞකික තොරතුරු කෙරෙහි අවධානය යොමු කලද ජර්මානු ආක්‍රමණ හමුවේ නෙදර්ලන්තයේ ඇති වූ වෙනස්කම් කිහිපයක් පිළිබඳවද ඇය සාකච්ඡා කරන්නීය. ඇගේ 1942 ජුනි 20 පිවිසුමෙහි ඇය, නෙදර්ලන්ත යුදෙව් ජනතාවට එරෙහිව ඇති සිමා බන්ධන ලැයිස්තුගත කරන්නීය. එමෙන්එම වසරේ මුල් භාගයේදී සිදු වූ ඇගේ මිත්තණියගේ මරණය පිළිබඳව සිය ශෝකය ද ඇය එහි සටහන් තබන්නිය. ෆ්‍රෑන්ක් නිළියක් වීමට සිහින මැව්වාය. ඇය චිත්‍රපට නැරඹීමට ප්‍රිය කලාය. නමුත් 1941 ජනවාරි 8 දින සිට නෙදර්ලන්ත යුදෙව්වන්ට සිනමා ශාලා වලට පිවිසීම තහනම් කරන ලදී.

1942 ජුලි මාසයේදී, Zentralstelle für jüdische Auswanderung යුදෙව් විගමන පිලිබඳ මධ්‍යම කාර්යාලය මගින්, වැඩ කඳවුරකට වාර්තා කරන්නැයි නියෝග කරමින් මාගට් ෆ්‍රෑන්ක්ට කැඳවීමේ සටහනක් ලැබුණි. ඔවුන් ප්‍රින්සෙන්ග්‍රච්ට් හි ඔපෙක්ටා පරිශ්‍රයේ ඇති කාමර වල සැඟවීමට යන බව ඔටෝ ෆ්‍රෑන්ක්, සිය පවුලට පැවසුවේය. එය ඔහුගේ වඩාත් විශ්වාසවන්තම සේවකයන් කිහිප දෙනෙකුගේ උදව් ඔවුන්ට ලැබෙනු ඇතැයි අපේක්ෂා කල ඈම්ස්ටර්දෑම් හි නල මාර්ගයක් විය. කැඳවීමේ සටහන, ඔවුන් අපේක්ෂා කරගෙන සිටියාට වඩා සති කිහිපයකට කලින් අලුත් තැනකට යන ලෙස ඔවුන්ට බල කරන ලදී.

සැඟවීමට යාමට ටිකකට පෙර, ඈන් සිය අසල්වැසි මිතුරියක වූ ටූස්ජි කූපර්ස්ට පොතක්, තේ කට්ටලයක්, මාබල් ටින් එකක් සහ පවුලේ බළලා ආරක්ෂාවට තබා ගන්නැයි කියා දුන්නාය. ආශ්‍රිත මුද්‍රණයන් පවසන පරිදි "මම මගේ මාබල් ගැන වද වෙනවා, මොකද ඒවා වැරදි කෙනෙක්ගේ අතට යයිද කියල මම බයයි" යනුවෙන් ඈන් පැවසුවේ යැයි කූපර්ස් කියා ඇත. "ඔයාට පුළුවන්ද මං වෙනුවෙන් ටික කාලයකට ඒවා බලාගන්න?"

                                     

2.2. Time period chronicled in the diary Achterhuis හි ජීවිතය

1942 ජුලි 6 සඳුදා, පවුල ඔවුන්ගේ සැඟවුම් ස්ථානය වූ නවාතැන්පලට පිටත්ව ගීයහ. එතෙක් ඔවුන් සිටි නවාතැන්පල අවුල් සහගත ස්වභාවයකින් යුතුව හැරගියේ ඔවුන් හදිසියේම පිටත්ව ගිය බව ඇඟවීමට යි. ඔවුන් ස්විට්සර්ලන්තයට යන බව ඇඟවෙන සටහනක් ද ඔටෝ ෆ්‍රෑන්ක් එහි දමා ආවේය. රහස්‍ය බව රැක ගැනීමේ අවශ්‍යතාවය නිසා ඈන් ගේ බළලා මූර්ට්ජ් හැර දමා ඒමට ඔවුන්ට සිදු විය. පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට යුදෙව්වන්ට අවසර නොතිබි බැවින් ඔවුන් කිලෝමීටර් කිහිපයක් පයින් ගමන් කල අතර ඔවුන් ගමන් මලු රැගෙයන බව අන් අය දැකීම වැලැක්වීමට එක් අයෙක් ඇඳුම් කිහිපයක්ම බැගින් ඇඳගෙන සිටියහ. Achterhuis නිවෙසක පසුපස භාගය හැඳින්වීමට යෙදෙන නෙදර්ලන්ත වචනයකි. දිනපොතේ ඉංග්‍රීසි පරිවර්තනයන් තුල එය රහස් නිවෙස ලෙස පරිවර්තනය කර ඇත ඔපෙක්ටා කාර්යාල වලට ඉහලින් ඇති ඇතුළු වීමකින් ඇතුළු වීමට ඇති තුන් බුමු අවකාශයක් විය. කුඩා කුටි දෙකක්,යාබද නාන කාමර සහ වැසිකිළි සමඟ පළමු මට්ටමේ විය. ඊට ඉහළින් විශාල විවෘත කාමරයක් විය. ඊට පසෙකින් කුඩා කාමරයක්ද විය. මෙම කුඩා කාමරයෙන් ඉහලින් ඇති අට්ටාලයකට, ඉනිමගක් මගින් නැගිය හැකි විය. එය සොයාගත නොහැකි වීම වඩාත තහවුරු කරනු වස් Achterhuis හි දොර පසුව පොත් රාක්කයක් මගින් වසා දැමුණි. ප්‍රධාන ගොඩනැගිල්ල වෙස්ටර්කර්ක් හි නිවාස සංකීර්ණයක පිහිටි අතර එය විශේෂ ලක්ෂණ වලින් තොර, පැරණි සහ ඈම්ස්ටර්ඩැම් හි බටහිර කොටසේ ඇති ගොඩනැගිලි වල ආකෘතිය දරන්නක් විය. වික්ටර් කුග්ලර්, ජොහැන්ස් ක්ලේයිමන්, මෙයිප් ගයිස්" සහ බෙප් වොස්කුයිජිල් යන සේවකයින් පමණක් සැඟවී සිටින පිරිස ගැන දැන සිටියහ. ගයිස් හි ස්වාමියා වූ ජැන් ගයිස් සහ වොස්කුයිජිල් ගේ පියා වූ ජොහැන්ස් හෙන්ද්‍රික් වොස්කුයිජිල් යන අය ඔවුන් සිර වී සිටි කාලය තුල ඔවුන්ට උපකාර කල අය වූහ. නිවෙසේ පදිංචිකරුවන් සහ බාහිර ලෝකය අතර පැවතී එකම සම්බන්ධතාවය ද එය වූ අතර ඔවුන් යුද්ධය සහ දේශපාලන වර්ධනයන් පිළිබඳව නිවැසියන් දැනුවත් කළහ. ඔවුන් නිවැසියන්ගේ සියලු අවශ්‍යතා සපයා දුන්හ, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළහ, එමෙන්එම කාල වකවානුවේදී ලබා ගැනීමට වඩාත් අපහසු වූ ආහාර, සැපයීම ද සිදු කළහ. වඩාත් භයානක කාල වකවානුව තුලදී නිවැසියන්ගේ චිත්ත ධෛර්යය වැඩි දියුණු කිරීම උදෙසා කල කැප කිරීම් සහ ඔවුන්ගේ උත්සාහයන් පිළිබඳව ෆ්‍රෑන්ක් ලිව්වාය. සියල්ලටම වඩා බරපතල කාරණය වූයේ ඔවුන් අසු වුවහොත්, යුදෙව්වන්ව ආවරණය කිරීමේ වරදට ඔවුන් මරණ දණ්ඩනයට නියම කිරීමට ඉඩ පැවතීමයි.

1942 ජුලි 13 වනදා ෆ්‍රෑන්ක්වරුන්ට වෑන් පෙල්ස් පවුල; හර්මන් වෑන් පෙල්ස්, ඕගස්ට්, සහ 16 හැවිරිදි පීටර් වෑන් පෙල්ස් සහ නොවැම්බරයේදී පවුලේ මිත්‍රයෙකු හා දන්ත වෛද්‍යවරයෙකු වූ ෆ්‍රිට්ස් ෆෙෆර් එකතු වූහ. කතාබහ කිරීමට නව මිතුරන් එකතු වීම පිලිබඳ ඇගේ සතුට ෆ්‍රෑන්ක් ලියූ නමුත් එවැනි සිරගත වූ ඉඩ පහසුකම් මද තත්ත්වයක් යටතේ ආතතිය වර්ධනය වීම ඉක්මනින්ම සිදු විය. ෆෙෆර් සමඟ ඇගේ කාමරය බෙදා ගැනීමෙන් පසු, ඔහු සෑහීමකට පත් නොවන, ඉවසුම් නොදෙන පුද්ගලයෙකු බව ඈන් වටහා ගත් අතර ඔහුව ආපසු තම කාමරයෙන් යවා ගැනීමට කටයුතු කලාය. එමෙන්ම ඇය, ඕගස්ට් වෑන් පෙල්ස් මෝඩයෙකු ලෙස සැලකූ අතර ඔහු සමඟ ගැටුනාය. එමෙන්ම ඇය හර්මන් වෑන් පෙල්ස්ව සහ ෆ්‍රිට්ස් ෆෙෆර්ව, විශේෂයෙන්ම ඔවුන් පරිභෝජනය කල ආහාර ප්‍රමාණය පනම් කරගනිමින් ආත්මාර්ථකාමීන් ලෙස සැලකුවාය. ටික කාලයකට පසු, පළමුවෙන්ම පීටර් වෑන් පෙල්ස් කෙරෙහි ලැජ්ජාව සහ අමනෝඥ ස්වභාවය පහව ගිය පසු ඇය ඔහු සමඟ පවතින ඥාතිත්වයක් හඳුනාගත් අතර දෙදෙනා ආදර සම්බන්ධතාවක් ඇරඹුහ. ඇය තම ප්‍රථම හාදුව ඔහුගෙන් ලද්දාය. නමුත් ඇයට, ඔහු පිලිබඳව සිය හැගිම් සැබෑවටම ඇති වුවක් ද නැතහොත් දෙදෙනාම එක ලෙස, එකට සිරගතව මෙන් සිටීම නිසා ඇති වූවක් ද යන ප්‍රශ්නය ඇති වීමත් සමඟ ඔවුන්ගේ ප්‍රේමය පිරිහෙන්නට පටන් ගත්තේය. ඈන් ෆ්‍රෑන්ක් ඔවුන්ගේ උදව්කරුවන් සෑම කෙනෙක් සමඟම කිට්ටු සම්බන්ධතා ඇති කර ගත්තාය. ඔටෝ ෆ්‍රෑන්ක් පසු කාලීනව සිහිපත් කලේ, ඇය ඔවුන්ගේ පැමිණීම නොයිවසිලිසහගත උනන්දුවකින් යුක්තව අපේක්ෂා කල බවයි. ඈන්ගේ කිට්ටුම මිත්‍ර සම්බන්ධතාවය පැවතියේ බෙප් වොස්කුයිජි සමඟ බව ඔහුට දක්නට ලැබී තිබුණි. "තරුණ යතුරු ලියන්නා. ඔවුන් දෙදෙනා නිතරම මුල්ලකට වෙලා මුණු මුණු ගාමින් උන්නා."



                                     

2.3. Time period chronicled in the diary තරුණ දින සටහන් ලියන්නිය

ඇගේ ලිවීම් තුල ඈන්, ඇගේ පවුලේ සාමාජිකයන් සමඟ ඇය තුල ඇති බැඳීම සහ එකිනෙකාගේ චරිතයෙහි ඇති ප්‍රබල වෙනස්කම් පිරික්සන්නිය. භාවාත්මක වශයෙන් තමන් වඩාත් තම පියාට ලැදි වූ බව ඈන් විශ්වාස කලාය. "මම ඈන්ට වඩාත් ලං වුනා, වඩාත් මවට ලැදි වුණු මාගට්ට වඩා. මාගට් කලාතුරකින් තමන්ගේ හැඟීම් එළිදරව් කිරීම සහ ඈන්ට වගේ හැඟීම් යටපත් කරගෙන සිටීමෙන් ඇයට එතරම් පිඩාවක් අත් නොවීම නිසා ඇයට උදව් අවැසි නොවීම ඇතැම් විට එයට හේතු වන්නට ඇති" යනුවෙන් ඈන්ගේ පියා පසුව සඳහන් කර ඇත. ෆ්‍රෑන්ක් සොහොයුරියන්, ඔවුන් සැඟවීමට යාමට පෙර ඔවුන් අතර පැවති සම්බන්ධතාවයට වඩා වැඩි සම්බන්ධතාවයක් ඇති කර ගත්හ. ඇතැම් විටෙක ඈන්, මාගට් පිළිබඳව ඊර්ෂ්‍යා සහගතව; විශේෂයෙන්ම නිවෙසේ සාමාජිකයන් මාගට්ගේ ආචාරශීලී සන්සුන් ස්වභාවය නැති කරවන බව කියමින් ඈන්ව විවේචනය කල විටෙකදී ලිව්වාය. ඈන් වයසින් වැඩෙත්ම, සොහොයුරියන් දෙදෙනා එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබීමට සමත් වූහ. 1944 ජනවාරි 12 දින පුර්විකාවේ ඈන් මෙසේ ලියන්නීය; "මාගට් ගොඩාක් හොඳයි. අඩු තරමින් ඇය මේ දවස් වල එකටඑක කියන්නෙවත් නැහැ වගේම නියම යාලුවෙක් වෙන්න පටන් අරන්. ඇය තවදුරටත් මාව ගණන් නොගත යුතු බබෙක් විදියට දකින්නේ නැහැ."

ඈන් සිය මව සමඟ පැවති දුරස්ථ සම්බන්ධතාවය පිළිබඳව නිතර ලිව්වාය. එමෙන්ම ඈන් කෙරෙහි ඇය තුළ පැවති සැකය පිළිබඳව ද ලිව්වාය.1942 දී ඇය සිය මව පිළිබඳව සහ ඇගේ අපරික්ෂාකාරී බව, ඇගේ සෝපාහාසයන් සහ තද-හිතැති බව පිළිබඳව ඇය තුළ වූ අනාදරය/පිළිකුල විස්තර කලාය. "ඇය මට අම්මෙක් නෙවෙයි" යනුවෙන් එම විස්තරය අවසානයේදී ඇය ලිව්වාය. පසුව තම දිනපොතේ හරි වැරදි බලන විට ඇය තම රළු ආකල්පයන් පිළිබඳව ලැජ්ජා වූවාය. ඇය මෙසේ ලියයි; "ඈන්, ඇත්තටම ඒ ඔයාමද වෛර කිරීම ගැන සඳහන් කරලා තියෙන්නේ, අනේ ඈන්, කොහොමද ඔයා එහෙම කලේ?" වැරදි වටහා ගැනීම් නිසා ඔවුන් අතර වෙනස්කම් ඇති වූ බව ඇය අවබෝධ කර ගත්තාය. ඒවා මවගේ මෙන්ම තමන්ගේද වැරදි නිසා ඇති වූ බව ඇය පිළිගත්තාය. එමෙන්එම වැරදි මව වෙත අනවශ්‍ය පරිදි ගොඩ ගැසූ බවද ඇය දුටුවාය. මෙම තේරුම් ගැනීමත් සමඟ සිය මව වෙත ප්‍රමාණාත්මක සාධාරණත්වයකින් හා ගෞරවයකින් සැලකීමට ෆ්‍රෑන්ක් කටයුතු කලාය.

ඔවුන්ට හැකි වූ වහාම නැවත පාසල් යාමට ෆ්‍රෑන්ක් සොහොයුරියන් දෙදෙනාම බලාපොරොත්තු වූ අතර සඟව සිටින අතරතුරදී පවා දිගටම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියහ. මාගට්, බෙප් වොස්කුයිජිගේ නමින් තැපැල් මගින් ලඝු ලේඛන පාඨමාලාවක් හැදෑරු අතර එයට ඉහලම ලකුණු ලබා ගත්තාය. ඈන් වැඩි කාලයක් කියවීමට සහ අධ්‍යයනයට වැය කල අතර ක්‍රමයෙන් ඇගේ දිනපොත ලිවිම සහ සංස්කරණය සිදු කලාය. සිදුවීම් සිදු වන පරිද්දෙන්, ඒවා කතාන්දරයක් ලෙස පවසනු වස් ඇය ඇගේ හැඟීම්, ඇදහිලි, අපේක්ෂාවන් සහ අන් අය සමඟ කතා නොකළ හැකියැයි ඇය සිතූ විෂයයන් පිළිබඳවද ලිව්වාය. තම ලිවිම පිළිබඳව විශ්වාසය වර්ධනය වීම සහ වයසින් මුහුකුරා යාමත් සමඟ ඇය, දෙවියන් පිලිබඳව ඇගේ විශ්වාසය සහ මානව ස්වභාවය ඇය විග්‍රහ කරන අන්දම වැනි වඩාත් දුරවබෝධ විෂයයන් පිළිබඳව ලිව්වාය.

ෆ්‍රෑන්ක් මාධ්‍යවේදිනියක් වීමට ද අපේක්ෂා කලාය. 1944 අප්‍රේල් 5, බදාදා ඇය සිය දිනපොතෙහි මෙසේ ලියන්නීය:

නූගත් අයෙක් වීම වළක්වා ගැනීම සඳහා පාසල් වැඩ කල යුතු බව මම අන්තිමේදී වටහා ගතිමි; ජීවිතය නගා සිටුවීමට වගේම මාධ්‍යවේදිනියක් වීමටත්, මොකද එයයි මට උවමනා කරන්නේ! මම දන්නවා මට ලියන්න පුළුවන්., නමුත් එය රඳා පවතිනු ඇත්තේ මට සැබෑ හැකියාවක් ඇත්ද යන්න මතයි.

ඒ වගේම මට පොත් ලිවීමට හෝ පුවත්පත් ලිපි ලිවීමට හැකියාවක් නැති නම්, මට පුළුවන් දිගටම, මා වෙනුවෙන් ලියන්න. නමුත් මට අවැසියි එයට වඩා වැඩි යමක් කරන්න. මට පුළුවන්කමක් නැහැ අම්මා, මිසිස් වෑන් ඩැන්, නැත්නම් අනෙක් ඔක්කොම කාන්තාවන් වගේ වැඩ කළා වුනත් නිකම්ම අමතක වෙලා යන කෙනෙක් විදියට මමත් ජිවත් වෙනවා දකින්න. ස්වාමි පුරුෂයෙක් සහ දරුවන්ට වඩා කැප කිරීමක් කල හැකි අන් යමක් මට අවැසියි!.

වඩා ප්‍රයෝජනවත් පුද්ගලයෙකු වීමට හෝ සියලුම මනුෂ්‍යයන්ට; මට කවදාවත් මුණගැසී නොමැති අයට පවා විනෝදය ලබා දීමට උවමනායි. මගේ මරණයෙන් පසුවත් දිගටම ජීවත් වෙන්න මට ඕන! අන්න ඒ නිසයි මම දෙවියන් වහන්සේට මේ තරම් ස්තුතිවන්ත වෙන්නේ මා තුල ඇති සියල්ල ප්‍රකාශ කිරීමට සහ මගේ වැරදි අඩුපාඩු සකස් කර ගැනීමට භාවිත කල හැකි, මේ ත්‍යාගය මා වෙත ලබා දීම පිළිබඳව.

මම ලියන විමට මගේ සියලු කරදර ගසා දැමිය හැක. මගේ ශෝක කම්කටොළු අතුරුදහන්ව යයි, මගේ ආත්මයන් නැවත ප්‍රාණවත් වෙයි! නමුත්, එය විශාල ප්‍රශ්නයකි, මට කවදහරි විශිෂ්ට යමක් ලියන්න පුළුවන් වේවිද, මම කවදහරි මාධ්‍යවේදිනියක් නැත්නම් ලේඛකයෙක් වේවිද?

1944 අගෝස්තු 1 වන දින අවසන් සටහන ලියන තෙක් ඇය ක්‍රමයෙන් දිගටම ලියාගෙන ගියාය.

                                     

3. අත් අඩංගුවට ගැනීම

1944 අගෝස්තු 4 වන දින උදෑසන, කෙදිනකවත් හඳුනා ගැනීමට නොලැබුණු ඔත්තුකාරයෙකුගෙන් ලැබුණු සංඥාවකට අනුව SS හමුදා මගින් මෙහෙයවන ලද ජර්මානු නිළ ඇඳුම් ඇඳගත් පොලිසිය Achterhuis තුළට කඩා වැදුනහ. ෆ්‍රෑන්ක්වරු, වෑන් පෙල්ස් සහ ෆෙෆර් ව RSHA මූලස්ථානයට ගෙයන ලදී. එහිදී ඔවුන්ගේ ප්‍රශ්න කල අතර මුළු රයම එහි රැඳී සිටින්නට ඔවුන්ට සිදු විය. අගෝස්තු 5 වන දින ඔවුන්ව, වෙටරින්ග්ස්චන් වල සිරකරුවන්ගෙන් පිරි ඉතිරී ගිය හුයිස් වෑන් රඳවා ගැනීමේ නිවාසයට යවනු ලැබීය. දින දෙකකට පසු ඔවුන්ව වෙස්ටර්බෝර්ක් සංක්‍රමණ කඳවුරට යවනු ලැබීය. ඒ වන විටද එම කඳවුරේදී 100.000 කට අධික යුදෙව්වන් පිරිසක් මිය ගොස් සිටියහ. ඔවුන්ගෙන් බොහොමයක් නෙදර්ලන්ත සහ ජර්මානු ජාතිකයන් වූහ. සැඟව සිටියදී අත්අඩංගුවට පත් වීම නිසා ඔවුන්ව අපරාධකරුවන් ලෙස සළකනු ලැබූ අතර බරපතල වැඩෙහි යෙදවීම සඳහා දඬුවම් බැරැක්ක වලට යවනු ලැබීය.

වික්ටර් කුග්ලර් සහ ජොහැන්නස් ක්ලේයිමන් ද අත්අඩංගුවට පත් වූ අතර ආමර්ස්ෆොර්ට් හි රාජ්‍යයට එරෙහි වීම පිලිබඳ දණ්ඩන කඳවුරෙහි සිරගත කරනු ලැබීය. සති හතකට පසු ක්ලේයිමන් නිදහස් වූ නමුත් කුග්ලර්ව යුද්ධය නිමා වන තුරුම, විවිධ වැඩ කඳවුරු වල රඳවා ගනු ලැබීය. මෙයිප් ගයිස් සහ බෙප් වොස්කුයිජි ද ප්‍රශ්න කිරීම් වලට ලක් වූ නමුත් ඔවුන්ව රඳවා ගනු නොලැබීය. ඔවුන්ව පසු දිනම Achterhuis වලට ගිය අතර එහිදී විසිරී ගොස් තිබූ ඈන්ගේ ලියවිලි සොයා ගන්නට ලැබුණි. ඔවුන් ඒවා එකතු කළහ. එමෙන්ම පවුලේ ඡායාරූප එකතු කිහිපයක්ද සොයා ගන්නට ලැබුණි. යුද්ධය නිම වූ පසු ඒවා ඈන් වෙත යැවීමට ගයිස් අධිෂ්ඨාන කර ගත්තේය. 1944 අගෝස්තු 7 වන දින නිලධාරීන්ට මුදල් දීමෙන් සිරකරුවන්ව නිදහස් කර ගැනීමට ගයිස් උත්සාහ කලද ඔහුව ප්‍රතික්ෂේප කරන ලදී.

                                     

4. පිටකර හැරීම සහ මරණය

1944 සැප්තැම්බර් 3 වන දින කණ්ඩායම වෙස්ටර්බ්රුක් වලින් ඔස්ච්විට්ස් සංකේන්ද්‍රන කඳවුරට පිටත් කර හරින ලද අතර දින තුනක ගමනකින් පසු ඒ වෙත ලඟා වූහ. 1941 දී යුදෙව් ලයිසියමේදී මාගට් සහ ඈන් සමඟ මිතුරුව සිටි ඇම්ස්ටර්ඩැම්හි බ්ලොඑම් එවර්ස්-එම්ඩ්න් ද එම දුම්රියේම ගමන් ගත්තාය. බ්ලොඑම් ඔස්ච්විට්ස් හිදී ඈන්ව, මාගට්ව සහ ඔවුන්ගේ මවව දුටුවාය. නෙදර්ලන්ත ජාතික සිනමාකරුවෙකු වූ විලි ලින්ඩ්වර්ගේ ඈන් ෆ්‍රෑන්ක්ගේ අවසන් මාස හත නම් රූපවාහිනී වාර්තා වැඩසටහන සහ 1995 BBC වාර්තා වැඩසටහනක් වූ ඈන් ෆ්‍රෑන්ක් මතකය හිදී බ්ලොඑම්ව, ඔස්ච්විට්ස්හි සිටි ඈන් ෆ්‍රෑන්ක් පිලිබඳ ඇගේ මතකයන් සිහිපත් කරනු වස් සම්මුඛ සාකච්ඡා වලට ලක් කරනු ලැබීය.

දුම්රිය වලින්, මිනිසුන් පිටතට ගැනීමේදී ඇති වුන ව්‍යාකූලත්වයන් මැද පිරිමින්ව කාන්තාවන් සහ දරුවන්ගෙන් බලහත්කාරයෙන් වෙන් කරනු ලැබීය. ඔටෝ ෆ්‍රෑන්ක් ද එලෙස සිය පවුලෙන් වෙන් කරනු ලැබීය. මගීන් 1.019 දෙනෙකු අතරින් අවුරුදු 15 ට අඩු සියළුම ළමයින්ද ඇතුළු 549 දෙනෙක් කෙලින්ම ගෑස් කුටීර වෙත යවනු ලැබූහ. ඈන් ඊට මාස තුනකට පෙර 15 සම්පූර්ණ කර සිටි අතර එම ගමන් වාරයේදී ගැළවුණු ලාබාලම පිරිසෙන් අයෙක් වූවාය. බොහෝ පිරිසක් පැමිණීමේදීම ගෑස් මගින් මරණයට පත් කරන බව ඇය ඉක්මණින්ම වටහා ගත්තාය. නමුත් Achterhuis වලින් පැමිණි සියළු දෙනාම මෙම තේරීමේදී දිවි ගලවා ගත් බව ඇය කෙදිනකවත් දැන නොගත්තාය. වයස පනස් ගණන් වල සිටි එතරම් ශක්තිමත් පුද්ගලයෙකු නොවූ තම පියා, ඔවුන්ව වෙන් කරනු ලැබීමෙන් පසු ඉක්මණින්ම මිය යන්නට ඇතැයි ඇය කල්පනා කලාය.



                                     

5. බාහිර ලිපි

  • Anne Franks last remaining close relative, Buddy Elias, BBC News video interview about Anne, 25 February 2011
  • Anne Frank Fonds Foundation
  • Video: What Anne Frank Might Have Looked Like at 80 by The Daily Telegraph
  • Anne Frank Time Line
  • Anne Frank Bibliography
  • Anne Franks house
  • United States Holocaust Memorial Museum: Exhibition "Anne Frank: An Unfinished Story" and Encyclopedia Anne Frank
  • The History Channel: Anne Frank
  • Video: The only existing film images of Anne Frank යූ ටියුබ් වෙත
  • Dina Porat, "Biography of Anne Frank", Jewish Women Encyclopedia
  • Anne Frank Trust UK
  • Anne Frank Center, United States