ⓘ පවුල. මානව සමාජයේ තිබෙන වැදගත්ම ප්‍රාථමික ඒකකය පවුලයි. family යන පදය ඉංග්‍රීසි භාෂාවට එක්වී ඇත්තේ familia යන ලතින් පදය ඇසුරෙනි.රෝම සමාජයේ familia පදයෙන් හඳුන්වා ..

                                     

ⓘ පවුල

මානව සමාජයේ තිබෙන වැදගත්ම ප්‍රාථමික ඒකකය පවුලයි. family යන පදය ඉංග්‍රීසි භාෂාවට එක්වී ඇත්තේ familia යන ලතින් පදය ඇසුරෙනි.රෝම සමාජයේ familia පදයෙන් හඳුන්වා ඇත්තේ සරළ ඥාති සමූහයක් යන්නයි.වර්තමානයේ පවුල යනුවෙන් අදහස් කරන්නේ කුඩා ගෘහස්ථ ඒකකයක් ය. නමුත් ලෝකයේ තිබෙන සියලුම ආකාරයේ පවුල් කුඩා ගෘහස්ථ ඒකකයක් ලෙස හැඳින්විය නොහැකිය.මේ අනුව පවුල නිර්වචනය කිරීම ඉතාම දුෂ්කර කාර්යයකි.මෙයට ප්‍රධාන හේතු දෙකකි.

  • පවුල ඉතාම පුළුල් පරාසයක විසිරී තිබීම
  • කාලය අනුව පවුලේ සිදුවී ඇති වෙනස්කම් නිසා එහි විෂය සීමාව පුළුල් වීම

පවුල යන ඒකකයට අඩංගු විය යුතු කාරණා 03ක් Levi-strauss1956 සඳහන් කරයි.

01.පවුල විවාහය තුළින් ගොඩනැගිය යුතුය.

02.මෙම ඒකකයට සැමියා,බිරිඳ,ඔවුන්ගේ දරුවන් හෝ දරුකමට හදාගත් දරුවන් හෝ සමීප ඥාතීන් ඇතුළත් වීම

03.එකී සාමාජිකයන් අතර නීත්‍යානුකූලව එකට බැඳීමසමාජය පිළිගන්නා ආකාරයට එකට බැඳීම

කවර හෝ සමාජයක් පිළිබඳව සළකා බැලීමෙහිලා මිනිස් පවුල සමාජ සංස්ථාවන් අතර ඉතාම වැදගත්වුත් මූලිකවුත් සංස්ථාවක් ලෙස සලකනු ලැබිය යුත්තකි.

                                     

1. පවුල නිර්වචනය කිරීම

පවුල පිළිබඳ අධ්‍යයනයකදී ඇතැම් මූලික ගැටළු කිහිපයක් පිළිබඳව මුලින් ම අවධානය යොමු විය යුතුය.මෙබඳු ගැටළු අතර බෙහෙවින් මතභේදවලට තුඩු දී ඇත්තේ මිනිස් පවුල විශ්ව සාධාරණ ආයතනයක්ද?එසේ නැත්නම් ඇතැම් සමාජවල පමණක් ඇතැම් ඓතිහාසික යුගයන්හිදී විද්‍යමාන වූ ප්‍රපංචයක් පමණක් ද? යන්නයි.මේ අනුව විවිධ නිර්වචන පවුල පිළිබඳ ඉදිරිපත් වී ඇත.

Kathleen Gough - 1974

"පවුල යනු දරුවන් ඇති දැඩි කරමින්,ආර්ථික සහයෝගීතාව පවත්වාගෙයන එක නිවසක එකට වාසය කරන විවාහක යුවලක් හෝ ඥාතීන් ලෙස එකට බැඳෙන සමූහයකි."

මෙහිදී පවුල් ඒකකයක හඳුනාගතහැකි ප්‍රධාන ලක්ෂණ හතරක් ඇත.

01. සමීප ඥාතීන් අතර ලිංගික සම්බන්ධතා තහනම්වීම

02. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වන ශ්‍රම විභජනය

03. සමාජ අනුමැතිය සහිත විවාහය

04. පුරුෂයා සාමාන්‍යයෙන් පවුලේ ආධිපත්‍ය දැරීම

විලියම් ජේ.ගූඩ්1964-"the familly"

"මානව සමාජයේ විධිමත් ආකාරයකට වර්ධනය වන එකම සමාජ සංස්ථාව පවුල් සංස්ථාව වේ.එය සමාජයෙන් සමාජයට වෙනස් විය හැකිය.නමුත් දරුවන් බිහිකිරීම, පවුලේ සාමාජිකයන් භෞතික වශයෙන් නඩත්තු කිරීම,දරුවන්ට සමාජ අනන්‍යතාවය පැවරීම, සමාජානුයෝජනය හා සමාජ පාලනය එහි කාර්යය වශයෙන් ඕනෑම සමාජයක පවතී. පැරණි සමාජයේ තිබුණු පවුල විස්තෘත පවුලක් බවත් නූතන සමාජයේ පවුල වෛවාහික පවුලක් බවත් ඔහු සඳහන් කරයි.නමුත් කාර්යභාරය සෑම පවුලකම සමාව වේ.

Peter Murdock 1949

"පවුල යනු ලිංගික කෘත්‍යය,ප්‍රජනනය,සමාජානුයෝජනය සහ ආර්ථික සහයෝගීතාවය කාර්ය කොටගත් අවම වශයෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම සඳහා සමාජ අනුමැතියලත් ලිංග දෙකකට අයත් දෙදෙනෙක් ඔවුන්ගේ දරුවන් හෝ දරුකමට හදාගත් දරුවන්ගෙන් යුක්ත සමූහයකි. Haralambas and Heald 1997

"සැමියා සහ බිරිඳ අතර ලිංගික සබඳතා පැවැත්වීමක් සිදු නොවන බවත් යම් ස්ත්‍රියකට දරුවන් ලැබෙන්නේ ඇගේ පියාගේ මිතුරන්ට දාබව බොනාරෝ සමාජය ඇසුරින් දක්වයි. Margret Mead සැමොවා සමාජය පිළිබඳව අදහසක් ඉදිරිපත් කරයි. සැමොවා සමාජයේ දරුවන් සමාජානුයෝජනය කිරීම පවුලේ කාර්යයක් ලෙසට නොපවතින බව මාග්රට් මීඩ් සඳහන් කරයි. මෙම නිර්වචන පිළිබඳව ඩේවිඩ් චීල් වැනි පශ්චාත් නූතනවාදී සමාජ විද්‍යාඥයින් ප්‍රශ්න මතුකර ඇත.70 දශකයේ මැදභාගයේ සිට 21 වන සියවසේ මූලාරම්භය දක්වා පවුල් සංස්ථාව ආශ්‍රිතව යුරෝපයේ විවිධ රටවල ඇතිවී ඇති වෙනස්කම් චීල්ගේ ප්‍රශ්න කිරීම්වලට පසුබිම් වී ඇත.විවිධ පර්යේෂණ උපුටා දක්වමින් ඇමෙරිකාවේ අවිවාහක මව්වරුන්ගේ සංඛ්‍යාව ඉහළ යාම,දරුවන් රහිත පවුල් වැඩිවීම ආදී කරුණු හේතු වී ඇත. මේ නිසා තවදුරටත් පවුල යන ඒකකය පැරණි නිර්වචනවලින් අර්ථ නිරූපණය කළ නොහැකි බව පෙනී යයි. සමාජය තුළ ඇති වී ඇති වෙනස්කම්වලට අනුව පවුල පිළිබඳ නිර්වචනය වෙනස්විය යුතුය යන අදහස චීල් වැනි අය දරයි.මෙම කරුණු හේතු කොටගෙන පවුල අලුත් අකාරයකින් නිර්වචනය කිරීමට උත්සාහ ගෙන ඇත.නූතන ආකාරයට පවුල නිර්වචනය කිරීමට උත්සාහ ගෙන ඇත.නූතන ආකාරයට පවුල නිර්වචනය කිරීම ප්‍රධාන සංකල්ප හතරක් යටතේ සිදු කළ හැකි බව Cheal දක්වයි.

1. විශේෂිතකරණ සංකල්පය

2. අත්හැරීමේ සංකල්පය

3. විතැන් කිරීමේ සංකල්පය

4. ප්‍රසාරණය කිරීමේ සංකල්පය

විශේෂිතකරණ සංකල්පයෙන් දක්වන්නේ සාමාන්‍ය වශයෙන් හඳුනාගන්නා පවුල යන ඒකකය තව දුරටත් සමාඩයේ හඳුනාගැනීමට හැකි වුවත් එය විශ්වීය මට්ටම දක්වා ගමන් නොකරන බවයි. අත්හැරීමේ සංකල්පයෙන් කියවෙන්නේ අනියම් සබඳතා පවුලට විකල්ප තත්වයක් දක්වා වර්ධනය වී තිබේ නම් පවුල පිළිබඳ පැරණි නිර්වචනය අත්හළ යුතු බව මෙයින් කියවේ.විතැන්කිරීමේ සංකල්පය පවුල පිළිබඳ නිර්වචනය එක් තැනකින් තවත් තැනකට ගෙන යා යුතු බව සහ පවුල යන්නෙහි අර්ථය බිරිඳ සැමියා දරුවන්ගෙන් යුක්ත ඒකකය එදිනෙදා ජීවිතයේ දැනුම ගබඩා කරන ආර්ථික හා දේශපාලන උනන්දුවක් සහිත සමාජ සබඳතා පිළිබඳව ඇතුළත්කිරීම්වලින් සහ ඉවත්කිරීම්වලින් යුතු සදාචාර විශ්වාසයන්ගේ පද්ධතියකි. ප්‍රසාරණය කිරීමේ සංකල්පය දක්වන්නේ පවුල පිළිබඳ නිර්වචනය තවත් පුළුල් වියයුතු බවයි.

                                     

2. පවුලේ ඓතිහාසික විකාශනය

Kathlean Gouch සඳහන් කරන ආකාරයට මානව ඉතිහාසයේ මුල්ම අවධියේ මිනිසාගේ පැවැත්මද බැබුන් හෝ චිම්පන්සින් වැනි සත්වයින්ට සමාන විය.එසේම දඩයම් යුගයේදී ස්ත්‍රී හා පුරුෂයින් සංවාසයේ යෙදෙන ස්ථාන ගොඩනගා ගත් අතර පුරුෂයින් දඩයමේ ගිය පසු ස්ත්‍රීන් සහ දරුවන් මෙම ස්ථානවල තනි විය.නමුත් මිනිසා පවුලක් ලෙස සංවිධානය වීම ආරම්භ වී ඇත්තේ භාෂාව භාවිතය ආරම්භ කිරීම,ආහාර පිසීම,ගින්දර සොයා ගැනීම වැනි සංවර්ධනයන් ඇතිවීමත් සමගය.

මුල්කාලීනව පරම්පරා කිහිපයකින් යුතුව ගෝත්‍ර වශයෙන් ජීවත් වූ අතර පසුව පවුල පරම්පරා පරම්පරා දෙකකට තුනකට සීමා විය.මෙය විස්තෘත පවුලයි.වැඩවසම් සමාජ අවධියේ වඩාත් ප්‍රබලව පැවතියේ විස්තෘත පවුල් ක්‍රමයයි.නමුත් කාර්මීකරණය සමග ඇතිවන සමාජ වෙනස තුළින් න්‍යෂ්ටික පවුල් රටාව ඇති වේ. විස්තෘත පවුල තුළ දරුවන්,ඔවුන්ගේ දරුවන් හා දෙමාපියන් වශයෙන් පරම්පරා තුනක සාමාජිකයින් සිටී. විස්තෘත පවුල හා න්‍යෂ්ටික පවුලට අතරමැදි පවුලක් ලෙසට බද්ධ පවුල දැක්විය හැකිය.එය ඉන්දියානු සමාජයේ දැකිය හැකිය. එහි ජීවත්වූයේ පරම්පරා දෙකක සාමාජිකයන් පමණකි. කාර්මීකරණයත් සමගම විස්තෘත පවුලේ සාමාජිකයන්ට රැකියාව සඳහා ජීවත්වන ස්ථානයෙන් බැහැරව යාමට සිදුවිය.මෙසේ යාමේදී සාමාජිකයන් සියලු දෙනාම නගරයට ගෙනයාමට නොහැකි විය.ඒ අනුව කුඩා පවුල් නිර්මාණය විය. න්‍යෂ්ටික පවුලට අයත් වූයේ දෙමව්පියන් හා දරුවන් පමණකි.න්‍යෂ්ටික පවුල බිහිවීමත් සමග අනෙකුත් ඥාතීන්ගෙන් දුරස්වීමක් සිදුවිය.එය නිදහස පිළිබඳ අදහස මත බිහිවු පවුලක් ලෙස දැක්විය හැකිය.මව පියා දරුවන් මෙම පවුලේ සාමාජිකයන් වෙති.

වර්තමානය වන විට පවුල කුඩාවෙමින් පවතී.එම නිසා පවුල් ප්‍රතිපත්ති සෑදීමට සිදු වී තිබේ. 2004 වර්ෂය year of the family ලෙස නම් කර තිබේ. පවුලක සාමාජික සංඛ්‍යාව අඩුවීමට බලපා ඇති හේතු සඵලතාවයේ ශිඝ්‍ර බැස්ම

  • පවුලේ සාමාජිකයන් විදේශගත වීම
  • විවාහවන වයස ඉහළ යාම
  • ගබ්සාවන් හා පවුල් සැලසුම් භාවිතය
  • පරම්පරා අතර ගැටුම
  • දික්කසාද වීමේ ප්‍රවණතාවය වැඩිවීම
  • එකට ජීවත්වීමliving together
  • න්‍යෂ්ටික පවුලක් සාදාගැනීමට වැඩිදෙනෙකු කැමතිවීම
                                     

3. පවුලේ කාර්යභාරය

පවුල් සංස්ථාව සමාජයේ පවතින්නේ එහි ව්‍යුහාත්මක ස්වරූපය මත නොව එමගින් සමාජයට ඉටුකරන කාර්යභාරය මතය.එමගින් අදහස් කරන අන්දමට පවුලේ ව්‍යුහය යනු පවුලෙන් අපේක්ෂා කරන කාර්යභාරය ඉටුකිරීම සඳහා ඒ සමාජයට අනුව පවුල හැඩගැසී ඇති ආකාරයයි.

William J.Good 1964පවුලේ කාර්යභාරය ලෙස දක්වන්නේ

  • දරුවන් බිහිකිරීම
  • සමාජ අනන්‍යතාවය පැවරීම
  • සමාජානුයෝජනය
  • සමාජ පාලනය

යනාදියයි.

මර්ඩොත්ගේ ඉදිරිපත්කිරීම් අනුව ගත්විට ද ලිංගික කාර්යය,ප්‍රජනනය,අධ්‍යාපනය සමාජානුයෝජනය හා ආර්ථික සහයෝගීතාවය පවුලක කාර්යභාරය වේ.

ටැල්කොට් පාසන්ස් 1971අනුව පවුලේ විශ්වීය කාර්යයන් දෙකක් ඇති බව දක්වයි.

  • සමාජානුයෝජනය
  • පෞරුෂ වර්ධනය

මේ අනුව පවුලේ කාර්යයන් ප්‍රධාන වශයෙන් 04ක් තිබේ.

1.ජීව විද්‍යාත්මක කාර්යය

2.ආර්ථික කාර්යය

3.සංස්කෘතික කාර්යය

4.මනෝවිද්‍යාත්මක කාර්යය

වර්තමානයේ පවුලෙන් ඉටුවිය යුතු කාර්යයන් වෙනත් ආයතන මගින් සපුරාගැනීම නිසා පවුලට තිබෙන වටිනාකම පවුලක අවශ්‍යතාවය අඩු වී තිබේ. තවදුරටත් පවුල යන ඒකකය සමාජයේ පැවතීමේ අවශ්‍යතාවයක් නොමැති බව Spiro යන පුද්ගලයාගේ අදහස වේ.ඒ සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන,පාසල යනාදී ආයතන බිහි වී තිබේ.



                                     

4. පවුල් ජීවන චක්‍රය

පවුල් ජීවන චක්‍රය බටහිර පවුල් ආදර්ශයට ගනිමින් සකසා තිබේ.පවුල් ජීවන චක්‍රයේ අවධි 06කි.

  • අතරමැදි අවධිය
  • දරුවන් නොමැති අවධිය
  • වැන්දඹු අවධිය
  • දරුවන් නිවෙස් හැරයන අවධිය
  • දරුවන් බිහිකරන අවධිය
  • පශ්චාත් දෙමාපිය අවධිය
                                     

5. ශ්‍රී ලංකාවේ පවුල

‍ඓතිහාසික අවධියේ ලංකා සමාජයේ ලිංගික සදාචාරය සහ විවාහය ලිහිල් පදනමක් මත පැවතුණ ද පවුල සමාජයේ ශක්තිමත්ම ඒකකය වේ.පවුල සමාජයේ කේන්ද්‍රීය ඒකකයක් වේ.තම්බයියා නැමති මානව විද්‍යාඥයා සිය අධ්‍යයනයෙන් ප්‍රකාශ කරන පරිද් උඩරට ගැමියෝ ඥාති සමූහයේ සහයෝගීතාවය අරබයා සිය හැඟීම් පවුල සහ වාසගම් ආදී පද අපේ යන සම්බන්ධ විභක්තිය සමග යොදා ප්‍රකාශයට පත් කරති.මෙහි අර්ථය නම් සාම්ප්‍රදායික සිංහල සමාජය තුළ පෞද්ගලිකත්වය ඉතා අවම මට්ටමක පැවති බවත් පවුල සමාජ සාමුහිකත්වයේ සංකේතයක් වූ බවයි.සාම්ප්‍රදායික ශ්‍රී ලංකාවේ පවුල වශයෙන් හඳුන්වන ලද්දේ විශාල ඥාති කණ්ඩායමක එකතුවකි.

වික්ටෝරියානු සංස්කෘතිය ක්‍රියාත්මක වූ ටත් විජිත සමයේ ආර්ථික හා දේශපාලන සමාජයීය අංශයන්වල බරපතල වෙනස්කම් තිබුණි.ඒ අනුව පවුල් සංස්ථාව තුළ සිදු වූයේ විස්තෘත පවුල් ක්‍රමය බිඳවැටී න්‍යෂ්ටික පවුලක් නිර්මාණය වීමයි.

දීර්ඝ යටත් විජිත අවධිය තුළ දී මෙකී න්‍යෂ්ටික පවුල් ක්‍රමය ස්ථාපිත වුව ද 1948 නිදහස ලබන විටත් ලංකාවේ පවුල ග්‍රාමීය ප්‍රදේශවල මුළුමනින්ම න්‍යෂ්ටික පවුලේ ස්වරූපයෙන් යුක්ත නොවූ බව 1971-Yalman සහ 1961 E.R.Leach ඔවුන්ගේ අධ්‍යයන තුළින් පෙන්වා දී තිබේ.